හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාගේ නිල කාලය මාස දෙකකට පමණක් සීමා කෙරුණේ ඔහුට පසුව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් එම පදවියේ කටයුතු කිරීම සඳහා අවස්ථාවක් දීමට බව ශ්‍රී ලංකා රජය පවසයි.
අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පසුගිය අගෝස්‌තු 22 දින නාවික හමුදාපති පදවියට පත් කෙරුණු අතර, ඔක්තෝබර් 25 වැනිදා ඔහුට එම පදවියෙන් විශ්‍රාම යාමට සිදු විය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් පදවිය දැරූ නාවික හමුදපතිවරයා ලෙස ඉතිහාසයට එක් විය.
එසේම ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාපති පදවියට පත් දෙවෙනි දමිළ ජාතිකයා ද වේ.
සම්ප්‍රදායික ලෙස නාවික හමුදාපතිවරයකුට ලැබෙන වසරක සේවා දිගුව අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාට නොලැබුණි.
ඔහු විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලද්දේ රියර් අදමිරාල් සිරිමෙවන් රණසිංහයි.
"එතුමාට මාස දෙකක් නාවික හමුදාපති ධූරය දීලයි අපි ඔහු ගෙදර යවන්නේ. එතුමාට තවත් මාස හයක් දුන්නා නම් ඊළඟට සිටි දැන් නාවික හමුදාපතිවරයාට නිකම්ම ගෙදර යන්න වෙනවා. ඊට පස්සේ එතුමා කතා කරාවි - එතුමාට සිදු වුණ අසාධාරණය ගැන" සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාට සේවා දිගුවක් ලබා නොදීමට තුඩු දුන් හේතු බදාදා (නොවැ. 1)කැබිනට් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
නව හමුදාපති සිරිමෙවන් රණසිංහගේ සේවා කාලයත් ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
කවර කරුණු මත හෝ එපරිද්දෙන් මාස කිහිපයෙන් කිහිපයට හමුදාපතිවරුන් වෙනස් කිරීම හමුදාවේ ස්ථාවර භාවය අතින් ගැටලු මතු කරනවා නොවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා "දැන් මුහුදේ එතරම් ගැටලුවක් නැති බවත් යුද්ධයක් නැති නිසා එය ප්‍රශ්නයක් නොවන බවත්" කියා සිටියේය.
මේ අතර නාවික හමුදාවට රුපියල් කෝටි 2400ක් (රුපියල් බිලියන 24ක්) වැය කරමින් නැවක් මිල දී ගැනීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කිරීම හේතුවෙන් ට්‍රැවිස් සින්නයියා පදවියෙන් ඉවත් කළ බවට පළ වෙමින් ඇති අදහස් සත්‍යයෙන් තොර පදනමක් නොමැති විවේචන හැටියට ඇමතිවරයා විසින් බැහැර කරනු
රට විශාල ණය උගුලක පැටලී ඇති අවස්ථාවක, තවත් ණය ක්‍රමයකට රුසියාවෙන් යුද නැවක් මිල දී ගැනීමේ උවමනාව කුමක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා "නාවික හමුදාවට නැවක් ලබා ගැනීමෙන් ඒ නැව වෙනත් නොයෙක් දේවල් සඳහාත් භාවිත කළ හැකියි" යැයි කියා සිටියේය.
යුද සමයේ පවා අවශ්‍ය නොකළ නැවක් දැන් රටට අවශ්‍ය කුමක් නිසාදැයි ප්‍රශ්නයක් ඉදිරිපත් වූ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා සඳහන් කළේ "යුද සමයේ ශ්‍රී ලංකාවට නැව් සැපයීම ඇතැම් රටවල් විසින් ප්‍රතික්ෂේප කරන ලද" බවය.

No comments:
Post a Comment