Thursday, November 2, 2017

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.
එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.
  1. එක්සත් ජාතික පක්‍ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහා ඉවත්විය යුතුය.
  2. "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
  3. "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
  4. "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
  5. "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත්විය යුතුය.
  6. දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
  7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

පුංචි ඡන්දයේ අළුත් ක්‍රමය මොකක් ද?

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) හා සියලුම සංශෝධන
දීර්ඝ කාලයක් තිස්සේ පළාත් පාලන ආයතන වලට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ කොට්ඨාස ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය, 1979 මහ නගර සභා සහ නගර සභා ඡන්ද විමසීමේදී හඳුන්වා දෙන ලදි. මෙයට අදාල පනත 1977 අංක 24 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතයි.
පළාත් පාලන ඡන්ද විමසීම් වලදී සමානුපාත ඡන්ද ක්‍රමයට මනාප සලකුණු කිරීම හදුන්වා දෙනු ලැබුවේ 1991 පළාත් පාලන ඡන්ද විමසීමේදීය.එයට අදාල පනත වූයේ 1987 අංක 24 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත හා 1990 අංක 25 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අදාල වැදගත් සංශෝධන පනත්
1. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත
2. 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධන)පනත
3. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)පනත
(2016 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මඟින් පළාත් පාලන ආයතන වෙනුවෙන් 25% ක් වූ කාන්තා නියෝජනයක් අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසන ලද නමුත් එම ප්‍රතිපාදන 2017 අංක 16 පනතින් සංශෝධනය වී තිබේ.)
පළාත් පාලන ආයතන වෙනුවෙන් බෙදිය බෙදිය හැකි කොට්ඨාස වර්ග දෙකකි.

කේවල කොට්ඨාස බහු කොට්ඨාස

ජාතික සීමා නිර්ණය කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් 2015 /8 / 21 දිනැති 1928 /26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ i වන සහ ii වන කොටස වශයෙන් නිකුත් කරන ලදී.
සීමා නිර්ණය පිළිබඳ සමාලෝචන කමිටුව විසින් සකස් කරන ලද සංශෝධන 2017/2/17 දිනැති හා අංක 2006/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළ කරන ලදී.
1. ශ්‍රී ලංකාවේ සියලු පළාත් පාලන ආයතන වෙනුවෙන් පිහිටුවන ලද මුළු සභික කොට්ඨාස ගණන හා ඒවා වෙනුවෙන් තෝරාපත්කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව
2012 සංශෝධනයට පෙර
සභික සංඛ්‍යාව 4486 කි

කොට්ඨාස සංඛ්‍යාව තෝරාපත් කරගත යුතු සංඛ්‍යාව
1.කේවල සභික කොට්ඨාස 4750 4750
2.සභිකයින් දෙදෙනෙකු බැගින් පත්වීමට නියමිත බහු කොට්ඨාස 165 330
3.සභිකයින් තිදෙනෙකු බැගින් පත්වීමට නියමිත බහු කොට්ඨාස 4 12
4919 5092
(මෙයට අමතරව සභිකයින් 40% ක් ද සමානුපාත ක්‍රමයට තෝරා ගැනෙයි)
2. පළාත් පාලන ආයතන සංඛ්‍යාව
මහ නගර සභා - 24
නගර සභා - 41
ප්‍රාදේශිය සභා - 272
337

3. නාම යෝජනා දැන්වීම
තේරීම් භාර නිලධාරින් විසින් නාම යොජ්නා දැන්වීම පළ කරන දිනයේ සිට 14වන දිනයෙන් ආරම්භ වී ,17 වන දින දහවල් 12ට නාම යෝජනා කාල සීමාව අවසන් වෙයි.

4. නාම යෝජනා පත්‍රයක ඇතුළත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව (28 වන වගන්තිය)
නාම යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් භාවිත කිරීමට නියමිත වූ ආකෘති පත්‍ර වර්ග දෙකකි. නාම යෝජනා ඉදිරිපත් කරනු ලබන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් නීතියෙන් නියම කර ඇති ආකාරයෙන් මෙම ආකෘති පත්‍ර දෙකම මඟින් සිය නාම යෝජනාවන් ඉදිරිපත් කළ යුතුය.
පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය)
අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.
5. නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව
ඉහත සඳහන් කරන ලද පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ යුතු නාම යෝජනා පත්‍ර දෙකටම (ආකෘති) නියමිත කාන්තා අපේක්ෂිකා සංඛ්‍යාවන්ගේ නම් ඇතුළත් කළ යුතු වෙයි.
පළමු නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 10% කි
අතිරේක නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව - එම නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% කි
6.නාම යෝජනා පත්‍රයට තරුණ අපේක්ෂකයින් ඇතුළත් කිරීම
අවශ්‍ය තරුණ අපේක්ෂක සංඛ්‍යාවකගේ නම් යෝජනා කළ හැකිය.(අනිවාර්ය නැත
(1990 අංක 25 දරන සංශෝධන පනත මගින් මුළු අපේක්ෂක සංඛ්‍යාවෙන් 40%ක් තරුන අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබූ අතර 1991, 1997, 2002, 2006 හා 2011 යන වර්ෂවල පැවති පළාත් පාලන ඡන්ද විමසීම් වලදී මෙම නියමයන් බලාත්මකව තිබුණි.2012 අංක 22 දරණ පනතින් 40%, 25%, ලෙස වෙනස් කළ යුතු අතර “යුතුය“ යන්න “හැකිය“ - Shall වෙනුවට may යොදන ලදී. එනම් අනිවාර්ය යනු ඉවත් කරන ලදී.පසුව 2017 අංක 16 පනතින් 25%, 30% දක්වා වැඩි කළ ද may යන්න ඒ ආකාරයටම තිබේ)
7.ඇප තැන්පත් කිරීම (29 වන වගන්තිය)
ස්වාධින කණ්ඩායමේ අපේක්ෂකයෙකු සඳහා රුපියල් 5000.00 බැගින්
පිළිගතත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 1500.00 බැගින්
8.නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු (31 වන වගන්තිය)
පිළිගත් දේශපාලන පක්ෂයකට අදාල නාම යෝජනා පත්‍රයක් පක්ෂ ලේකම් විසින් ද, ස්වාධින කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි නායකයා විසින් ද අත්සන් කර නොතිබීම.
නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගේ හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගේ අත්සන සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් විධිමත් පරිදි සහතික කර නොතිබීම.
පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් එම පක්ෂයේ ලේකම් විසින් හෝ බලයලත් නියෝජිතයා විසින් භාර නොදීම, ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි කණ්ඩායම් නායකයා විසින් භාර නොදීම.
නාම යෝජනා කරනු ලැබීමට නියමිත සම්පූර්ණ අපේක්ෂකයින් සංඛ්‍යාව නාම යෝජනා පත්‍රයට ඇතුළත් කර නොතිබීම.
නාම යෝජනා පත්‍රයට නම් ඇතුළත් අපේක්ෂකයින් සංඛ්‍යාවට නියම වූ ඇප මුදල් තැන්පත් කර නොතිබීම.
නම් කිරීමට නියමිත සම්පූර්ණ කාන්තා අපේක්ෂිකාවන් ගණන නාම යෝජනා පත්‍රයට අන්තර්ගත නොවීම (2017 අංක 16 දරණ සංශෝධිත පනතේ විධිවිධානයෙනි)
අපේක්ෂකයෙකු විසින් නාම යෝජනාව වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා නාම යෝජනා පත්‍රෙය්හි අත්සන නොයොදා ඇති විට එබඳු අපේක්ෂකයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වන අතර ඒ හේතුවෙන් සම්පූර්න නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.
අපේක්ෂකයෙකු විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛණයේ දිවුරුම අමුණා නොමැති විට එම තැනැත්තා පමණක් නාම යෝජනා වෙනුවෙන් නුසුදුසු භාවයට පත්වෙයි.එහෙත් එම හේතුව නිසා සම්පූර්ණ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.
9.ඡන්ද පත්‍රිකාව හා ඡන්දය දීම (47 වන වගන්තිය)
තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂ වල නම් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලින් ඡන්ද පත්‍රිකාවේ භාෂාවෙන් දක්වන අතර ඊට පහළින් තරඟ කරන ස්වාධින කණ්ඩායම් , ඒවා හදුනාගැනීමට වෙන් කර දෙන ලද අංක ද සමඟ දැක්වේ.
ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම්වලට ඉදිරියෙන් සහ ස්වාධින කණ්ඩායම් වලට ඉදිරියෙන් ඒවාට අනුමත ඡන්ද ලකුණු මුද්‍රණය කරනු ලබන අතර එම ලකුණු වලට ඉදිරියෙන් කතිර (X) ලකුණක් යොදා ඡන්දය ප්‍රකාශ කිරීමට හිස් කොටුවක් මුද්‍රණය කෙරේ.
පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින් (කොට්ඨාස යටතේ හා අමතර අපේක්ෂකයින් වශයෙන්) කවුරුන් වන්නේ දැයි ඡන්ද දායකයාට දැනගැනීමට හැකි වන්නේ ඒ ඒ පක්ෂ හා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ඡන්ද දායකයින්ට දැන ගැනීම සඳහා සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ඡන්ද පොළ පරිශ්‍රය තුළ තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම මාර්ගයෙනි. මේ නිසා ඡන්දදායකයාට අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවුන ද තමා විසින් පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ප්‍රකාශ කරනු ලබන ඡන්දය මාර්ගයෙන් තම කැමැත්ත පළ කරනු ලබන්නේ කුමන අපේක්ෂකයා වෙනුවෙන් දැයි අදහසක් ඇති කර ගැනීමට හැකියාව ඇත.
10.ඡන්ද ස්ථාන නියෝජිතයින් පත් කිරීම (49 වන වගන්තිය)
ඡන්ද විමසීම ආරම්භවීමට පෙර , එක් ඡන්ද මධ්‍යස්ථානයකට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් පක්ෂයක් වෙනුවෙන් එහි ලේකම් වරයාට හෝ බලයලත් නියෝජිතයාට ද ස්වාධින කණ්ඩායමක් වෙනුවෙන් එහි නායකයාට ද පත්කිරීමට පිළිවන.
යම් පළාත් පාලන ආයතන සභිකයෙක් ලෙස තත්කාලයේ ධුරය දරන තැනැත්තෙකුට, එම ආයතනයේ නිලධරයෙකුට හෝ සේවකයෙකුට ඡන්ද ස්ථාන නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ නොහැකිය. එසේ වුව ද තත්කාලයේ ධුරය දරන සභිකයෙකු අපේක්ෂකයෙකු වන විටෙක තම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කරමින් ඡන්ද ස්ථාන නියෝජිතයා වශයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
11. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන (59 වගන්තිය )
කොට්ඨාසයකට එක් ඡන්ද පොළක් පමණක් ඇතිවිට එම ඡන්ද පොළේදී ගණන් කළ යුතුය. කොට්ඨාසයක, එකකට වඩා වැඩි ඡන්ද පොළවල් සංඛ්‍යාවක් ඇති විට , තේරීම් භාර නිලධාරි විසින් තීරණය කරන ඡන්ද පොළක දී / ඡන්ද පොළ වලදී ඡන්ද ගණන් කිරීම සිදුකළ හැකිය.
12.ගණන් කිරීමේ නියෝජිතයන් පත් කිරීම (60 වන වගන්තිය )
පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා ගණන් කිරීමේ නියෝජිතයින් දෙදෙනෙක් බැගින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් බලයලත් නියෝජිතයාට හෝ ස්වාධින කණ්ඩායම් නායකයාට පත් කළ හැකිය.
13. කේවල කොට්ඨාසයේ සභිකයා තීරණය කිරීම (65 වන වගන්තිය)
කේවල කොට්ඨාසයට අයත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් පසු එම කොට්ඨාසය වෙනුවෙන් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් තරග කොට වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා , කොට්ඨාසයකට තේරී පත්වූ සභිකයා වශයෙන් එම කොට්ඨාසයේ ගණන් කිරීම අවසානයේ දැනුම් දෙනු ලැබේ.
14. බහු සභික කොට්ඨාසයේ සභිකයින් තීරණය කිරීම
බහු සභික කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම විසින් නාම යෝජනා කරන ලද දෙදෙනා හෝ තිදෙනා අවස්ථාවෝචිත පරිදි එම කොට්ඨාසයේ සභිකයින් වශයෙන් පත්කරනු ලැබේ.
15. සමානුපාතිකව සභිකයින් තෝරාගැනීම (65 (ආ) වන වගන්තිය)
පළාත් පාලන බල ප්‍රදේශය තුළ එක් එක් පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුව, එකී පළාත් පාලන ආයතනය සඳහා තේරීපත් වීමට නියමිත මුළු සභික සංඛ්‍යාෙවන් බෙදීමෙන් ලැබෙන “තීරක අංකයෙන්“ එකී එක් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් ඒ ඒ පක්ෂයට හා ස්වාධීන කණ්ඩායමට හිමිවන සභික සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මුළු සභික සංඛ්‍යාවෙන් කොට්ඨාස දිනාගෙන ඇති සභික සංඛ්‍යාව අඩුකිරීමෙන් පසු ඉතිරිවන සභික ශේෂය, එම පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ලැයිස්තුවෙන් තෝරාපත් කරගත යුතු සභිකයින් සංඛ්‍යාව වෙයි.
යම්කිසි පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින්, සමානුපාතිකව හිමිවිය යුතු සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් (Over hang) කොට්ඨාස වලින් තේරී පත්වී ඇත්නම්, රම වැඩිවන සංඛ්‍යාවෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයින් සඛ්‍යාවද වැඩිවෙයි.
16.කාන්තා සභිකයින් වෙන් කිරීම (65(අ) (අ)වගන්තිය)
පළාත් පාලන ආයතනයක මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% කට වඩා අඩු ඡන්ද ලබාගත් හා සභිකයින් තිදෙනෙකු තෝරා පත්කරගෙන ඇති පක්ෂ හා ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩුකර ඉතිරි ඡන්ද 25% සභික සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවෙන් බෙදනු ලැබේ.
එයින් ලැබෙන තීරක අංකයෙන් එම ඡන්ද සංඛ්‍යාවට අයත් පක්ෂ හා ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එක් එක් පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් පත්කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
එක් එක් පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාෙවන් එකී පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් කොට්ඨාස දිනාගත් කාන්තා සභික සංඛ්‍යාව අඩුකර ඉතිරි සංඛ්‍යාව සමානුපාතිකව ලැයිස්තුවෙන් පත් කළ යුතු සභික සංඛ්‍යාවෙන් පත් කරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීම් කෙරේ.
17.නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති / උප සභාපති පත් කිරීම (66(ආ)වන වගන්තිය)
මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි සභික සංඛ්‍යාව හිමිකරගත් පක්ෂයේ ලේකම්ට හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාට ආයතනයේ නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති/ උප සභාපති පත් කරන ලෙස තේරීම් භාර නිලධාරි විසින් දැනුම් දෙනු ලැබේ.
කිසිම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් 50% වඩා වැඩි සභික සංඛ්‍යාවක් හිමිකර ගැනීමට අසමත් වන විට නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති /උප සභාපති ප්‍රාරම්භක රැස්වීමේදී සභිකයින්ගේ ඡන්දයෙන් තේරී පත්වෙයි.

රජිත් කීර්ති තෙන්නකෝන් ගේ ෆේස්බුක් ලිපියකි 

ට්‍රැවිස් සින්නයියා මාස දෙකෙන් ගෙදර යැව්වේ ඇයි- රාජිත දුන් කුපාඩි උත්තර ටික

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාගේ නිල කාලය මාස දෙකකට පමණක් සීමා කෙරුණේ ඔහුට පසුව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් එම පදවියේ කටයුතු කිරීම සඳහා අවස්ථාවක් දීමට බව ශ්‍රී ලංකා රජය පවසයි.
අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා පසුගිය අගෝස්‌තු 22 දින නාවික හමුදාපති පදවියට පත් කෙරුණු අතර, ඔක්තෝබර් 25 වැනිදා ඔහුට එම පදවියෙන් විශ්‍රාම යාමට සිදු විය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් පදවිය දැරූ නාවික හමුදපතිවරයා ලෙස ඉතිහාසයට එක් විය.
එසේම ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාපති පදවියට පත් දෙවෙනි දමිළ ජාතිකයා ද වේ.
සම්ප්‍රදායික ලෙස නාවික හමුදාපතිවරයකුට ලැබෙන වසරක සේවා දිගුව අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියාට නොලැබුණි.
ඔහු විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලද්දේ රියර් අදමිරාල් සිරිමෙවන් රණසිංහයි.
"එතුමාට මාස දෙකක් නාවික හමුදාපති ධූරය දීලයි අපි ඔහු ගෙදර යවන්නේ. එතුමාට තවත් මාස හයක් දුන්නා නම් ඊළඟට සිටි දැන් නාවික හමුදාපතිවරයාට නිකම්ම ගෙදර යන්න වෙනවා. ඊට පස්සේ එතුමා කතා කරාවි - එතුමාට සිදු වුණ අසාධාරණය ගැන" සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාට සේවා දිගුවක් ලබා නොදීමට තුඩු දුන් හේතු බදාදා (නොවැ. 1)කැබිනට් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
නව හමුදාපති සිරිමෙවන් රණසිංහගේ සේවා කාලයත් ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
කවර කරුණු මත හෝ එපරිද්දෙන් මාස කිහිපයෙන් කිහිපයට හමුදාපතිවරුන් වෙනස් කිරීම හමුදාවේ ස්ථාවර භාවය අතින් ගැට‍ලු මතු කරනවා නොවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා "දැන් මුහුදේ එතරම් ගැට‍ලුවක් නැති බවත් යුද්ධයක් නැති නිසා එය ප්‍රශ්නයක් නොවන බවත්" කියා සිටියේය.
මේ අතර නාවික හමුදාවට රුපියල් කෝටි 2400ක් (රුපියල් බිලියන 24ක්) වැය කරමින් නැවක් මිල දී ගැනීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කිරීම හේතුවෙන් ට්‍රැවිස්‌ සින්නයියා පදවියෙන් ඉවත් කළ බවට පළ වෙමින් ඇති අදහස් සත්‍යයෙන් තොර පදනමක් නොමැති විවේචන හැටියට ඇමතිවරයා විසින් බැහැර කරනු 
රට විශාල ණය උගුලක පැටලී ඇති අවස්ථාවක, තවත් ණය ක්‍රමයකට රුසියාවෙන් යුද නැවක් මිල දී ගැනීමේ උවමනාව කුමක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා "නාවික හමුදාවට නැවක් ලබා ගැනීමෙන් ඒ නැව වෙනත් නොයෙක් දේවල් සඳහාත් භාවිත කළ හැකියි" යැයි කියා සිටියේය.
යුද සමයේ පවා අවශ්‍ය නොකළ නැවක් දැන් රටට අවශ්‍ය කුමක් නිසාදැයි ප්‍රශ්නයක් ඉදිරිපත් වූ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා සඳහන් කළේ "යුද සමයේ ශ්‍රී ලංකාවට නැව් සැපයීම ඇතැම් රටවල් විසින් ප්‍රතික්ෂේප කරන ලද" බවය.

පළාත් පාලන ඡන්දය ජනවාරි 20-31 මැකෝ නිල ලෙස කියයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි 20 වෙනිදා සිට 31 දක්වා අතර ඉරිදා දිනයක හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පැවැත්වෙනු ඇතැයිද නාම යෝජනා ලබා ගැනීම දෙසැම්බර් 11 දා සිට 20 අතර දින 3 හමාරක කාලයක් වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. 
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
2017-11- 01 වන දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව දන්වා ඇති හෙයින් එකී ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාද වීමට හේතු වූ බාධා ඉවත් වී ඇත. එබැවින් 2017 නොවැම්බර් 01 වෙනි දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව පහත සඳහන් තීරණ වලට එළැඹිණ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පණතේ 26 වෙනි වගන්තිය යටතේ තේරීම්බාර නිලධාරීන් විසින් නිකුත් කළ යුතු නාම යෝජනා කාල සීමාව පිළිබඳ දැන්වීම හෙවත් නාමයෝජනා කැඳවීමේ දැන්වීම 2017 නොවැම්බර් 27 දිනයෙන් ආරම්භ වන සතිය තුලදී නිකුත් කිරීමට උපදෙස් දීමට තීරණය කරන ලදී. එම නිශ්චිත දිනය පසුව නිවේදනය කෙරේ. ඒ අනුව නාම යෝජනා කාල සීමාව, එම දැන්වීම නිකුත් කරන දිනයට පසුව එළැඹෙන 14 වන දිනයෙන් ආරම්භ වී 17 වන දින මධ්‍යාහ්න 12 ට අවසන් වීමට නියමිත ය. නාම යෝජනා කාල සීමාව දින 3 හමාරක් පමණක් වන අතර එම කාල සීමාව 2017 දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 20 අතර වනු ඇතැයි අපේක්ෂිතය.
ඡන්ද විමසීම් දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38 වන වගන්තිය යටතේ නාම යෝජනා කාල සීමාව හා එයට අදාල කටයුතු නිමවීමෙන් අනතුරුව තේරීම් බාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන ඡන්ද විමසීම් පිලිබඳ ගැසට් නිවේදනය මගිනි. එකී නිවේදනය නිකුත් කරන දිනයේ සිට සති 5 කට නොඅඩු සහ සති 7 කට නොවැඩි කාල සීමාව ඇතුලත ඡන්ද විමසීම පැවැත්විය යුතුය. ඒ අනුව ඡන්ද විමසීම 2018 ජනවාරි 20 දින සිට ජනවාරි 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක දී පැවැත්වෙනු ඇත.
ඉහත නාමයෝජනා පිළිබඳ දැන්වීම පළකරනු ලබන දිනය, නාම යෝජනා කාල සීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් නම් කිරීම ඉදිරි දිනවලදී පවත්වනු ලබන මැතිවරණ කොමිසමේ රැස්වීම් වලදී තීරණය කරනු ඇත. 
මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්

මහින්ද දේශප්‍රිය

සභාපති
මැතිවරණ කොමිෂන් සභාව
2017-11-01 වන දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී ය.  

මහින්ද ව්‍යවස්ථා මල්ල ලෙහා ආණ්ඩුවේ නිර්වස්ත්‍ර කරයි

2017 නොවැම්බර් මස දෙවන දිනබ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත.

ගරු සභාපතිතුමනි,
මේ ව්‍යවස්ථාදායක සභාව අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පටන්ගත්තෙ මීට මාස 20කට පමණ කලින්. 2016 නොවැම්බර් මාසයේදී විවිධ යෝජනා අන්තර්ගත අනු කමිටු වාර්තා 06ක් පලවුණා. අපි අද විවාද කරන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලේ පසුගිය සැප්තැම්බර් මාසයේ. ඉදිරිපත් වී ඇති නිශ්චිත යෝජනා පිළිබඳව මම සවිස්තරාත්මක නිවේදන නිකුත් කර තිබෙන නිසා ඒ ගැන නැවතත් මෙතන කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහභාගී වුණේ බොහොම අවංකව. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන දේශපාලන පක්‍ෂ වල අදහස් විමසුවාම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපේ අදහස් ලියල යැව්වා. අපි ඒකෙ කමිටුවලට සහභාගී වුණා. මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ගැන අපිට සැක නොතිබුණා නොවේ. යහපාලන  ආණ්ඩුව බලයට ආපු අලුත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කියලා ගෙනාපු 19 වන සංශෝධනයෙන් කරපු මහා වංචාව අපි දැක්කා.ඒත් අපි මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට ගැන හිතලා.
නමුත් මේ ව්‍යස්ථා සම්පාදක ක්‍රියාවලියත් සිද්ධ වෙන්නෙ වැරදි විදියට. අනුකමිටුවලට සහභාගී වෙලා අපේ මන්ත්‍රීවරුන් දක්වපු අදහස් වාර්තා මුද්‍රණය කරන කොට හලලා.  පසුගිය දවස් දෙකේ මේ විවාදය කරපු හැටි දිහා බලන්න. ආණ්ඩු පක්‍ෂයෙන් කියලා යූ.එන්.පී ඇමතිවරයෙක් කතා කරනවා, ඊට පස්සෙ විපක්‍ෂයෙන් කියලා ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙක් කතා කරනවා. අයෙමත් ආණ්ඩු පක්‍ෂයෙන් කියලා ශ්‍රිලනිප ඇමතිවරයෙක් කතා කරනවා. ඊළඟට විපක්‍ෂයෙන් කියලා ජේ.වී.පී  මන්ත්‍රීවරයෙක් කතා කරනවා. මේ ඔක්කොම යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. මේ ඔක්කොම මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්න අය. මේ රටේ සබෑ විපක්‍ෂය වෙන ඒකාබද්ධ විපක්‍ෂයට  මුලු දවසටම කතා ලැබෙන්නෙදෙක තුනයි.
මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරනය කරන්න මේගොල්ලො කියනවා මමත් මගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරල තිබුණයි කියලා. ඔව් තිබුණා තමයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රට බෙඳන ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. මම හිතාගෙන සිටියෙ රට එක් සේසත් කරන ව්‍යවස්ථාවක් ගැන.2015 ජනාධිපතිවරණයේදීවත් පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවෙකුටත් වරමක් ලැබුණේ නෑ.
මේ ඉදිරිපත් කර ඇති යෝජනා වලට අනුව අද මධ්‍යම ආණ්ඩුව හොබවන සෑම බලයක්ම සමාලෝචනයට ලක් කොට එය පළාත් ඒකක වලට පැවරිය හැකිනම්, එසේ පැවරීමට යෝජනා කරල තියෙනව. සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කරල ඒකෙ බලතලත් පළාත් වලට බෙදල දෙන්න යෝජනා වෙලා තියෙනව. ඒ ක්‍රියාදාමයෙන් පස්සෙ මධ්‍යම ආණ්ඩුවට ඉතිරිවෙන බලතල වුණත් ක්‍රියාත්මක කිරීමේ බලය හැකි සෑම අවස්ථාවකදීම පලාත් වලට පවරන්න යෝජනා වෙලා තියෙනව. ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමේදීත් මධ්‍යම ආණ්ඩුවට හැම පළාත් සභාවකින්ම වෙන වෙනම මත විමසන්න වෙනව. ඉඩම් හා පොලිස් බලතල පමණක් නොව මුදල් බලතලත් පළාත් ඒකක වලට පැවරීමට යෝජනා වෙලා තියෙනව. මේ ආකාරයට පළාත් ඒකක වලට බලය පැවරුවාට පස්සෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් හා ජනමත විචාරණයකින් වත් ඒ බලතල ආපසු පවර ගන්න බැරි වෙන ආකාරයට විධිවිධාන සම්පාදනය කිරීමට යෝජනා වෙලා තියෙනව.
යෝජිත  ව්‍යවස්ථාව යටතේ පළාත් වලට පැවරෙන බලතල මධ්‍යම ආණ්ඩුවට ආපසු පවරගන්න පුලුවන් වෙන්නෙ හැම පළාත් සභාවක් විසින්ම ඒ පවර ගැනීම අනුමත කරොත් විතරයි. මේ ඉදිරිපත් කරල තියෙන යෝජනා ඇත්තටම ක්‍රියාත්මක වුනොත් අද මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන් ඊලඟ වතාවේ පාර්ලිමේන්තුවට තරඟ කිරීමෙන් පලක් නැති වෙනව. සැබෑ බලය තියෙන්නෙ පළාත් සභා වල නිසා මේ සියලුම දෙනාටම පළාත් සභාවලට තරඟ කරන්න සිද්ධ වේවි.
උතුරු හා නැගෙනහිර පළාත්වල ෆෙඩරල් ඒකකයක් නැත්නම් ස්වාධීන රාජ්‍යක් ගොඩනැගීම 1950 ගණන් වල ඉදලම උතුරේ දේශපාලඥයින්ගෙ ප්‍රධාන ව්‍යාපෘත්ය වන බව අපි කවුරුත් දන්නව. වෙනම ෆෙඩරල් ඒකකයක් ඉල්ලා සිටීම පසුපස තිබුණු ජාතිවාදය වසන් කරන්න බලය බෙදීම උතුරු -නැගෙනහිරට පමණක් නොව අනිත් පළාත් වලටත් සෙත සලසන ක්‍රියාදාමයක් හැටියට හුවා දක්වන ප්‍රවනතාවය ඒකාලයේ ඉඳලම තිබුණා. උතුරේ දේශපාලන කණ්ඩායම් වැඩි වැඩියෙන් බලය බෙදීම ඉල්ලා සිටින විට වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයනුත් වැඩි සෙවිල්ලක් බැලිල්ලක් හෝ කල්පනා කිරිල්ලක් නැතුව ඒකට ඔලුව වනන ප්‍රවනතාවයක් තිබුණා.
නමුත් දැන් දංගෙඩියට බෙල්ල තියන මොහොත ඇවිත් තියෙන නිසා වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් වල නායකයන් මේ යෝජනා වලින් තමන් නියෝජනය කරන ජන කොටස් වලට ඇති පැහැදිලි අනතුර ගැන කල්පනා කිරීමට පටන්ගෙන ඇතැයි කියල මම සිතනව. මාස 20ක් තිස්සේ  සාකච්ඡා කිරීමෙන් පසුවත් යෝජනා එකතුවක් පලකිරීමෙන් එහාට මේ ක්‍රියාදාමය ඉදිරියට ගිහිල්ලා නැත්තෙමේ නිසා වෙන්න පුලුවන්. මෙහෙයුම් කමිටුවේ 21 දෙනාගෙන් 15 දෙනෙක්ම අතුරැ වාර්ථාව තුල විකල්ප මත ඉදිරිපත් කරල තියෙනව ඵ් වගේම 5 වන වගන්තියට ශ්‍රී ලංකාවේ දේශසීමාව නීර්ණය කිරිමේ බලය බාර දිමට ඇති යෝජනාවට අපට ඵකග විය නොහැක.
උතුරේ දේශපාලඥයන්ට බලය බෙදීම කියන සංකල්පයෙන් ප්‍රයෝජනයක් තිබුණත් අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ වලට එයින් ඇති වන්නේ අගතියක් පමණයි. මේ අතුරු වාර්තාවෙ යෝජනා කරලා  තියෙන හැටියට උතුරු-නැගෙනහිර පළාත්දෙක, තනි පළාතක් හැටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟ වෙන්න පුලුවන්ද? 1987 දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහිවුනෙත් උතුරු- නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධවයි. දෙමළ ජාතිවාදීන්ට උතුරේ සම්පූර්ණ බලය හිමිවී තිබුණ සමයේ මුස්ලිම් ජනතාවට සලකපු ආකාරය ඔවුන්ට තවම අමතක වෙලා නැතුව ඇතැයි කියල මම හිතනව. ඒ කාලේ නැගෙනහිර පළාතෙ මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම අත් නොවුනෙ ඒ ප්‍රදේශවල යුද හමුදාව හිටපු නිසයි.
උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකෙරුවොත් නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාවට පවා බලය බෙදීමෙන් සිද්දවෙන්නෙ සුගතියක් දැයි ඔවුන්ගෙන්ම අහල බලන්න ඕන. අපි උඩරට පළාත්වල  ජීවත්වන ද්‍රවිඩ ජනතාව ගත්තොත් ඒ ජනතාව වෙනම රාජ්‍යයන්ට සමාන බලතල හොබවන පළාත් සභා දෙකක්, තුනක් නැතිනම් ඊටත් වඩා වැඩි ගණනක් අතරෙ බෙදිල යන එක ගැන ඒ ජනතාවගේ නායකයන් මොනවද හිතන්නෙ? ඒ එක් එක් පළාත් සභාව තුළ ජීවත් වන උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරවුලක් නිරාකාරණය කිරීමට හෝ දුක්ගැනවිල්ලක් ගැන සොයා බැලීමට මැදිහත් වීමක් කිරීමටවත් මධ්‍යම ආණ්ඩුවට බලයක් නැති තැන ඒ විදියට නොයෙක් පළාත් සභා අතර ඒ ජනතාව බෙදිල යාමේ අනිසංශ මොනවද කියල ඒ නායකයො කල්පනා කරල තියෙනවද?
දෙමළ ජාතික සංධානයේ දේශපාලන පක්‍ෂ හැරුණ විට අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ මේ වනතෙක් සොයා ගියේ මධ්‍යම ආණ්ඩුවේ බලයයි. මේ ඉදිපත් වී තිබෙන යෝජනා ක්‍රියාත්මක වුවහොත් මධ්‍යම ආණ්ඩුවට සියලුම බලතල අහිමි වනව. ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන බලය බෙදීමේ යෝජනා සාධාරණීකරනය කරන්න ඒගොල්ලො කියනවා මම  “තර්ටීන් ප්ලස්” දෙනවයි කිවුවලු.  මේගොල්ලො තර්ටීන් ප්ලස් කිවුවාම අදහස් කරන්නෙ රට බෙදන එක. තර්ටීන් ප්ලස් කියන එකෙන් මම අදහස් කලේ, දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් වැනි ආයතන තුළින් රටේ සියලු ජන කොටස් තව තවත්  මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට සහභාගී කරවා ගැනීමයි.
ඉන්දියාවෙ දෙමළ ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ තමිල්නාඩුවෙ. නමුත් ලංකාවෙ දෙමළ ජනතාවගෙන් බහුතරය සථිරව පදිංචි වෙලා ඉන්නෙ උතුරු-නැගෙනහිර පළාත් වලින් පිට. නැගෙනහිර පළාතෙ සෑහෙන මුස්ලිම් ජනගහනයක් හිටියත්, මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ නැගෙනහිර පළාතෙන් පිට. මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් මත ස්වාධීන රාජ්‍යයකට හිමි තරමේ බලතල තියෙන ෆෙඩරල් පාලන ඒකක ඇති කිරීමෙන් සිද්දවෙන්නෙ ඒ එක් එක් ඒකක තුළ ඉන්න විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් වලට අගතියක් සිදුවීමයි.
මේ බලය බෙදීමේ යෝජනා අත්හැර, ඒ ගොල්ලන් 2015 ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.වි‍ධායක ජනාධිපති ක්‍රමයේ අනාගතය පිලිබද රජයේ සමුහික ස්ථාවරය ඉදිරිපත් කල පසු මේ ගරු සභාවේ අවධානය යොමුවෙන්න ඕන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැනයි. පසුගිය මාස දෙක තුළ පාළාත් පාලන හා පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුවෙ අත්තනෝමතික හා අවිධිමත් විදියටයි. මේ නිසා ඉදිරියේදීරට පාලනය කරන ආයතන තුළ බරපතල අස්ථාවර භාවයක්  ඇතිවෙන්න ඉඩ තියෙනව.
මීට කළින් පළාත් පාලන ඡන්ද ක්‍රමයත්, පළාත් සභා ඡන්ද ක්‍රමයත් වෙනස් කරලා ඡන්ද කල් දමන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාවලියම ව්‍යවස්ථාව සම්බන්දයෙනුත් අනුගමනය කරාවිය යන බරපතල සැකය කා තුළත් තියෙනවා. මගේ නායකත්වය යටතේ තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ආණ්ඩුවේ ඇමතිකම් දරණ අය 40 කට වඩා ඉන්නවා. මේ අයට පුලුවන් ව්‍යවස්ථාවට ඡන්දය නොදී ඉඳල ඒක පාර්ලිමේන්තුව තුළම පරාජය කරන්න.
මගේ ආණ්ඩුව විසින් යුද්දයෙන් පසු උතුරු පළාතේ දියත් කල ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය, රැකියා නියුක්තිය, හා අධ්‍යාපනය දියුණු වුණා. නමුත් දැන් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් පසෙක ලා උතුරේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල්තැන දීල තියෙන්නෙ 2015 ආණ්ඩු වෙනස ඇති කිරීමේ කුමන්ත්‍රණයට උදවු දුන් අභ්‍යන්තර හා භාහිර බලවේගවලට ණය ගෙවීමක් ලෙස කියලයි මම හිතන්නෙ.
ස්තුතියි